බ්ලොග් අඩවියකට නැතුවම බැරි දේවල්. – සද්දයක් නෙවෙයි ඉල්ලීමක්.

බ්ලොග් එකකට එන්නේ.

කැල්කියුලේටරයක්වත් නැති එවුන් නිසා කැල් එකක්.

වෙලාව ගැන හැගීමක් නැති උන් නිසා වෙලාව තියෙන ගැජට් එකක්.

බ්ලොග් එක බලන එකම මෝඩයා තමන් නොවන බව පෙන්වීමට විසිටර්ස් විස්තර සහිත  ගැජට් එකක්.

පම්පෝරිය පෙන්වීමට හිට්ස් ගනන සහිත ගැජට් කිහිපයක් අත්‍යාවශ්‍ය වේ.

මීට අමතරව බල්ලෝ, පූසෝ ඔටෝ පේලේවෙන රේඩියෝ/සිංදු බ්ලොග් අඩවියකට නැතුවම බැරි අංගයන්ය.

තවත් කියනවා නම්..

හිම වැටෙන ඒවා.

චැට් බොක්ස්/ෂවුට් බොක්ස්

facebook, twitter, buzz එක

මීට අමතරව  තමන්ගෙ බ්ලොග් එක කොපි කිරිමට තරම් සිරාබව පෙන්වීමට රයිට් ක්ලික් කිරීම අහුරන්න පුළුවන්. බ්ලොග් හොරා javascript disable කිරීමටවත් නොදන්නවා යැයි උපකල්පනය කරන්න.

පසුව ලියමි: බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් තාම බ්ලොග් කියවනවා.  බලා ඉඳලා බැරිම තැනයි මෙහෙම ලියන්නේ.  බ්ලොග් එකකට මිනිස්සු එන්නේ එකෙ අන්තර්ගතය බලන්න මිසක් ඒකෙ තියෙන ගැජට් බලන්න නෙවෙයි. සද්දයක් නෙවෙයි ඉල්ලීමක්. 

 

 

හත්මාළුවේ කතාව -02

ඊයෙ ලියපු මේ බ්ලොග් පෝස්ට් එකේ පළවෙනි කොටස කියෙව්වෙ නැත්තම් මුලින්ම ඒක කියවලා ආවොත් හොඳයි.  ඊයෙ නැවැත්තුවේ Peter Mozelius ගැන කියලනෙ. workshop ඉවරවෙලා project  එක හැටියට ලැබුනේ  python ගේම් එකක් හදන්න . ඕක කරන එක නං අනිවාර්ය උනේ නැහැ. ඒත් මම ගේම් එකක් වෙනුවට හත්මාළුව වගේ feed agregator එකක් හදන එක ගැන Peter Mozeliusගෙන් ඇහුවා. අපිට python එක්ක web අඩවි හදන එක නොකරපු නිසා ඕක කරන්න සෑහෙන්න අලුතෙන් ඉගෙන ගන්න වෙයි කියලා පොඩි අනතුරු ඇඟවීමක් දැම්මා. කොහොමහරි මෙහෙම හරි project එක ඉවරකරපු එකා මම විතරද කොහෙද. කොහොමහරි මම වැඩට බැස්සෙ google web app framework ඉගෙනගන්න පටන්ගැනිල්ලෙන්. google app engine පාවිච්චි කරන්න හේතුව උනේ  සයිට් එක google servers වල free host කරන්න පුළුවන්  වීම.

පයිතන් වල ලොකුම වෙනස තමයි කෝඩ් සඳහා indentation නිවැරදිවම තිබිය යුතු වීම. සඟල වරහන් භාවිතා වෙනුවට indent කිරීම තමයි පාවිච්චි වෙන්නේ. ඉතිං මේක මුලදී හෙන වාතයක් උනා. මොකද indent වැරදි සමහර විට පෙන්නෙ නැති වීම. ඒත් eclipse වලට pydev plugin එක install කරගත්තට පස්සේ වැඩේ ගොඩක්ම ලේසි උනා. ඊළඟට ගැටලුවකට කියලා ආවේ google app engine වල පාවිච්චි වෙන අමුතු database වර්ගය. mysql වලට හුරුවෙලා හිටපු මට නිකං කරකවලා අතෑරියා වගේ. mysql වල ඉඳලා google  data store එකට බ්ලොග් වල විස්තර අරගෙන යන්න මම script එක ලියන්න හදපු එක තමයි මම මුලින්ම කරන්න හැදුවේ. google documentation එක බලාගෙනම කීප සැරයක් ලිව්වත් වැඩේ හරිගියෙත් නැහැ. මාස ගානක් වැඩේ අතෑරලා දාලා හිටියා මේ නිසාම ආව කම්මැලිකමට.

ඔය දවස්වල මට අවස්තාවක් ලැබුනා සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයට දෙවැනි සම්බන්ද වෙන්න. තිබුනු  මුල අවුරුද්දෙ  නිකං ගිහින් ආවා. ඒත් දෙවැනි පාර ඒකෙ ඉදිරිපත්කිරීමක් කරන්න මට අවස්තාවක් ලැබුනා. කතා කරන්න මම අවස්තාව අරගෙන තිබුනේ   නම් මම හදපු google chrome extensions ගැන. කලුතර රාමදා හෝටලේ තමයි මේක තිබුනෙ. මගේ presentation එක තිබුනේ දෙවැනි දවසේ. ඒත් පළවෙනි දවසේ වෙලාව ඉතිරි උන නිසා කැමති කෙනෙකුට කැමති මාතෘකාවක් ගැන කතාකරන්න අවස්ථාවක් ලැබුනා. සාමාන්‍යෙන් මම පැන පැන කතා කරන  කෙනෙක් නෙවෙයි. ටිකක් පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඒත් මට හිතුනා මේක හොඳ අවස්තාවක් කියලා. ඒනිසා බ්ලොග් කියවන ගැන මාතෘකාව ඇදලා අරගෙන හත්මාළුව ගැනත් කිව්වා. audience ආව ප්‍රශ්න හොඳ ප්‍රශ්න ටිකකුත් ආවා. “ බ්ලොග් එකක් ලියන නොලියන එකට බලපෑම් කරන්න බ්ලොග් කියවනයක් තීරණය කරන එක සාධාරණ නැහැ නේද?” ඔය වගේ ඒවා. අනිත් බ්ලොග් කියවන කෙසේ වෙතත් හත්මාළුවේ බ්ලොග් එකක් නොලිව්වා කියලා ඉවත් නොකරන බව කිව්වා. ඇත්තටම අදටත් ඒක එහෙමමයි. තවත් භාෂා ප්‍රශ්ණයක් ඇහුවා සිංහල ඉංග්‍රීසි කවලම් ලියන බ්ලොග් වල වෙන වෙනම feed ලබාදිය යුතු වීම හා බ්ලොග් ලියන අයගේ ඒ පිලිබඳව තාක්ෂණික නොදැනුවත් බව ගැන එහෙම. ඒකටත් පිලිතුරක් දෙනවා කියලා මම එදා පොරොන්දු උනා.

අපේ training ඉවරවෙලා රස්සාවකට interview එකකට ගියාමත් මම හත්මාළුව සයිට් එක කරපු බව කිව්වා. මාව interview කරපු කපිල සර්, ශ්‍රීනාත් සර් එවෙලේම සයිට් එකට ගිහින් බැලුවා.  මොනව හිතුවද දන්නෙ නං නෑ. ඒත් මට ජොබ් එක නං ලැබුනා.

කොහොම උනත් ආයෙත් google app  වැඩේ පටන් අරගත්තා. මේ පාර අර මුලින් කියපු script එක මඟඇරලා වෙන තැනකින් පටන්ගත්තා. පොඩි form කෑල්ලක් අටවලා ටෙස්ටින් වැඩ වලට google buzz එකක් දාලා බ්ලොග් ටිකක් ඇඩ් කරව ගත්තා. එක එක ජාතියේ python feed  libraries පාවිච්චි කරලා බැලුවා. feedparser, BeautifulSoup ඒ වගේ කීපයක්. මීට අමතරව YQL python version එකත්  google feed api python version එකත් අත්හදා බැලුවා. මුලින් කියපු feedparser, BeautifulSoup කියන දෙක සෑහෙන්න resources අරගත්තා. google app එකේ  cron script එකට performance warnings එන්න පටන්ගත්තා. ඒ දෙකම අමතක කරලා YQL පාවිච්චි කලා. ඒත් YQL වල එක එක feed වර්ග වලට ලබාදුන්නේ වෙනස් වෙනස් responses. ඒකත් අතෑරලා කලින් සැරයක් අසාර්ථක උන google feed api පාවිච්චි කරන්න පටන් ගත්තා. මුලින් අසාර්ථක උන හේතුව මම feed ලිපිනය යවද්දී හරියට url encoding කරපු නැති නිසා හොයාගත්තා. කලින් වැරදුන තැන දන්න නිසා බය නැතුව google feed api පාවිච්චි කලා.  අන්තිමේදී අර පොරොන්දුවත් ඉටු කරන්න http://langid.net/ පාවිච්චි කරන්න බැලුවා. ඒත් කරුමෙට මම මේක ට්‍රයි කරපු දවසෙම ඒ සයිට් එක ඩවුන්.  ඒ නිසා එදාම විකල්පයක් විදියට google language api එකෙන් විසඳුමක් හොයාගත්තා. ඒ විදියට බ්ලොග් පෝස්ට් එකක් ලියලා තියෙන භාෂාව සොයන කෝඩ් එකක් හත්මාළුවට එකතු උනා.

අර වැඩ නොකරපු එපා කරපු script එක google documentation එකේ වැරැද්දක් නිසයි ඒ වැරැද්ද මමත් එහෙමම කරපු නිසයි වැඩ නොකලේ  කියලා පස්සේ හොයාගත්තා. ඒක තේරුනේ  http://stackoverflow.com/ තිබුනු කෝඩ් එකක් දැක්කාම. ඔහොම යද්දි ආයෙත් ප්‍රශ්ණයක් ආවා ඒ බ්ලොග් ගාන වැඩි වෙද්දි cron script එකට performance warnings දෙන්න පටන් ගැනීම. මේකට පිළියමක් විදියට google app task queue පාවිච්චි කලා. බරසාර processing  වැඩවලට තමයි  task queue තියෙන්නේ. ඒවා process වෙන වේගය අපිට තීරණය කරන්න පුළුවන්. memcached පාවිච්චි කරලා තවත් optimize කලා.. වියදම අවුරුද්දකටම රුපියල් දාහක් විතර.  ඒකත් ඩොමෙන් එකට. ඒ වියදමින්ම  හත්මාළුවට කිසිම කරදරයක් නැතිව සක්‍රීය බ්ලොග් අඩවි 5000ක් උනත් දරන්න පුළුවන් කියලා කියන්න පුළුවනි. :)  . මදිඋනොත් google  quota  එකක් සල්ලිවලට ගන්න පුළුවන්.

පහුගිය අප්‍රේල් නිවාඩුවේ සහ සිකුරාදා, සෙනසුරාදා දවස්වල මම නිදාගත්තේම නැති තරම් hosting package එක expire වෙන්න කලින් වැඩේ ඉවර කරන්න ඕන නිසා. ලිෂාන් ලස්සන ඩිසයින් එකක් දාලා දුන්නා. හත්මාළුව තාමත් code කරලා ඉවර නැහැ හැමදාම අලුත් මොනවා හරි එකතු වෙවී ඉස්සරහට යයි. :)

හත්මාළුවේ කතාව. | A story of a developer.

හත්මාළුව හදන්න මුලින්ම අදහසක් ආවේ 2010 මාර්තුවල වගේ. මූලිකම හේතුව උනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තනි පුද්ගලයෙකුගේ බූදලයක් බව පැහැදිලිවම තේරුම් යාමත් එක්ක.

ඒ දවස්වල ලාංකීය සිතුවිලි වල ආරම්භකම අවධිය. ඔවුන් එතකොටත් සාර්ථකම ආරම්භයක් ලබාගෙන තිබුනා. වැපා පහුගිය දවසක මට කියපු විදියට මගේ බ්ලොග් එකත් ලාංකීය සිතුවිලි වලට එකතු උන මුල්ම බ්ලොග් වලින් එකක් උනා.  නමුත්  ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට වන්දනාමාන කරන තත්වයක් මට දැනුනා. ඒක ඒ දවස්වල වැප්ගෙ අදහස් දැක්කාම මට හිතිච්ච දෙයක්. (වරදවා වටහා ගන්න එපා වැපා එක්ක තරහක් මට නැහැ.) ඒ නිසා ඔය බ්ලොග් කියවන එකකටවත් සම්බන්ද නැති සින්ඩියක් හදන්න මට ඕන උනා. ඒකට මගේ අපාය සහයක මිතුරන් දෙන්නෙක් වෙන ආගන්තුකයා සහ චමිල ( ඒ දවස්වල අපි තුන්දෙනාම UCSC network center එකේ internship හිටියේ) දෙන්නත් වැඩේට සෙට් කරව ගත්තා. wordpress දාගෙන කලින් සින්ඩි හදපු අය නාගෙන ඉන්න නාගැනිල්ල දැක්කාම wordpress  අතෑරලා දැම්මා.

බ්ලොග් එකක් අප්ඩේට් උනා කියලා සින්ඩියක් දැනගන්ෙන් RSS කියන තාක්ෂනයෙන්.  RSS feed වර්ග 9ක් විතර තියෙනවා. ඉතින් මේ එකකට එකක් වෙනස්. මේ 9ටම හරියන්න ලියනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඉතිං http://simplepie.org/ කියන php class එක අහුඋනේ ඔය දවස්වල. එක මේ වැඩේට එලටම හරි ගියා. ඒත්  දැන්  ආයෙත් ප්‍රශ්ණයක්. ඒ තමයි හොස්ටින්. ඒ දවස්වල අපි හම්බකරපු එවුන් නෙවෙයි. training එකෙන් බොහොම පොඩි ගානක් ලැබුනා. ගෙදරිත් සල්ලි ඉල්ලන එකත් හිතට හරි නැහැ. ඉතින් කොහොමහරි සල්ලි හොයාගෙන. අප්‍රේල් මාසෙ දවසක ලසිතයයි මමයි හොස්ටින් පැකේජ් එකක් මිලදී ගත්තා  4500කට.ඩොමේන් එකකුත් 950කට ගත්තා. හෝම් පේජ් ලසිතයා ගොඩ දැම්මා. බ්ලොග් එක චමිලයා ගොඩ දැම්මා. translations හැරිසන්, සුලක්ෂි, ෂෙලානි ඇතුලු e-learning center එකේ  intern හිටපු    අය ගොඩ දැම්මා. ඔය දවස්වල හෝ ගාලා සින්ඩි කලඑලි බහින්න පටන්ගත්තු නිසා අපි පොඩ්ඩක් රැල්ල යනකල් ඉන්න තීරණය කලා. කොහොම හරි 2010 ජුනි 1 වෙනිදා ඔන්න ඔහේ කියලා අපි සයිට් එක host කරලා දැම්මා. හත්මාළුව කියලා නම දැම්මේ සුදාරක.

හත්මාළුවට  බ්ලොග් 200ක් විතර  එද්දී සෑහෙන්න performance ගැටලු ආවා. හොයලා බලද්දි පාවිච්චි කරපු simplepie කියන library එකේ memory leaks තියෙනවා කියල හම්බ උනා. google app engine පාවිච්චි කරලා ඕක ලියන්න කියලා ඒ දවස්වල network center එකේ systems manager හිටපු දීපේන්ද්‍ර අයියා(gnudeep) කිව්වා. එයා ලියපු apps ටිකකුත් පෙන්නුවා. ඒත් ලියන්න වෙන්නේ පයිතන් වලින්. ඒ වෙද්දි පයිතන් hello world වත් මම දන්නෙ නෑ. memory leak එකට පිලියමක් විදියට google feed api එක පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒත් කල්යත්දී කට්ටියගෙන් පැමිණිලි ආවා බ්ලොග් එකේ අප්ඩේට් එන්නේ නෑ කියලා. ආයෙත් simplepie වලට මාරු වෙලා code එක optimize කලා සෑහෙන්න. සින්ඩියක බ්ලොග් අප්ඩේට් වෙන්නේ server එකේ පැයකට සැරයක් වගේ ධාවනය වෙන script එකකින්. (cron)මේක එක script එකක් විදියට දුවවන්නේ නැතුව කෑලි කිහිපයකට බෙදලා දැම්මා.  ඒ server  resources භාවිතා වෙනවා වැඩියි කියලා මගේ හොස්ටින් සපයන්නා (lkservers) මගේ crons අයින් කරලත් තිබුනු නිසා.  ඒත් සයිට් එක down උනේම නැති තරම්. බ්ලොග් ඇප්රූව් කරන්න ඇඩ්මින් පැනල් එකක් හැදුවා. එක ක්ලික් එකකින් නැත්තම් දෙකකින් බ්ලොග් එකක් ඇඩ් කරන්න පුළුවන් කම තිබුනු නිසා මොන අවුල තිබුනත් බ්ලොග් එකක් ඇප්රූව් කරන එක  අපි පැය කිහිපයක් ඇතුලත කලා.

ඔය දවස්වල මට වැදගත් අවස්තාවක් ලැබුනා. ඒ Sweden වලින් ඇවිත් අපේ ucsc staff එකට කරපු python workshop එකකට සහභාගී වෙන්න ලැබීම. අපි internship හිටපු නිසා Dr. Ajantha අපෙනුත් කැමති අයට එන්න කියලා කිව්වා.  workshop එක කලේ Peter Mozelius.  කතා දෙකක් නෑ නියම ගුරුවරයෙක්.පැය දෙක ගානෙ දවස්  පහක lecture තියලා පොඩි පහේ python game එකක් එහෙම ලියන්න අපිට කියලා දුන්නා.

——

වෙලාව නැති නිසා එක දිගට ලියන්න අමාරුයි. ඊළඟ පෝස්ට් එකෙන් ඉතුරු ටික ලියන්නම්.

Yahoo! Query Language YQL ගැන හැඳින්වීමක්…

මෙච්චර කාලයක් පහනා ලිව්වෙ google ගැනමනෙ. අද යාහු සේවාවක් ගැනයි ලියන්න යන්නෙ. YQL හෙවත් yahoo query language. මමත් YQL පාවිච්චි කරන්න පටන් අහන් සතියකට දෙකකට වැඩිය නෑ. ඒ නිසා එක එක ඕන නැති පණ්ඩිත ප්‍රශ්න අහල අමාරුවෙ දානව එහෙම නෙවෙයි. :D .

මොකක්ද YQL කියන්නෙ.

සාමාන්‍යයෙන් අන්තර්ජාල සේවාවක්(web service) එකක් සමඟ අපිට වැඩ කරන්න උනොත් ඒක කරන්න ඒ සේවාව හා සම්බන්ද API එක ඉගෙන ගන්න වෙනවා. මේක ටිකක් කල්ගතවෙන එපාකරපු වැඩක්. YQL කරන්නේ අපි දන්න web services ගොඩක් එක්ක අපිට හුරුපුරුදු sql query එකක් වගේ එකක් යොමු කලාම අපේ වැඩේ කරගන්න පුළුවන් තත්වයට පත්කරන එක.

උදාහරණයක්

ඉතිරියත් කියවන්න Yahoo! Query Language YQL ගැන හැඳින්වීමක්… (…)

සිංහල බ්ලොග්කරණයේ වසර දෙකක්.

දන්නෙම නැතිව මම බ්ලොග් ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් ගෙවිලා ගියා. තාම ලියලා තියෙන්නේ නම් බ්ලොග් පෝස්ට් 94ක් විතරයි. (මේ ලියන එකත් එක්ක.) අවුරුදු 2ක් පිරුනේ ඔක්තෝබර් 28 වෙනිදට උනත් වෙලාව නැති නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි උනේ. හත්මාළුවෙ ඇප්රූව් කරන්න තියෙන  බ්ලොග්  ලිස්ට් එකත් සෑහෙන්න දිග වෙලා.  බ්ලොග් එකක් ඇප්රූව් කරන්න වැඩි වෙලාවක් නොගියත් ගොඩක් බ්ලොග් ඇඩ්කරන අය හරියට බ්ලොග් එකේ feed ලිපිනය ලබාදෙන්නෙ නැහැ.  feed කියන එක දන්නෙ නැති නිසා වෙන්න ඇතිනෙ වැරදියට දාන්නෙ ඒ නිසා ඒ වැඩෙත් හත්මාළුවෙ අපිම නිවැරදි කරලා දානවා.  ඒ වැඩේ නම් ටිකක් වෙලාව යන වැඩක්. මේකට පිළියමක් මට වෙලාවක් ලැබුණු වෙලාවක සයිට් එකට ඇඩ් කරන්නයි හිතාඉන්නේ. ගිය අවුරුද්දෙ බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තිබුනට මේ අවුරුද්දේ ලියලා තියෙන්නේ 31ක් විතරයි. බ්ලොග් ලිවිල්ල විනෝදාංශය කරගන්නවට වැඩිය එක එක ගැජට් කෑලි හදන එක මගේ විනෝදාංශය වේගෙන එන නිසා වෙන්න ඇති. ආසාවෙන් පටන් ගත්තු python වැඩකුත් ඔන්න දැන් කොට උඩ. :( . යලට මහට පෝස්ට් එකක් දැම්මත් මගේ බ්ලොග් එක දැකලා බ්ලොග් ලියන්න පටන් අරගත්තු අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ ගොඩක් අය මට වඩා හොඳට ලියනවත් එක්ක. :) .

ඉතිරියත් කියවන්න සිංහල බ්ලොග්කරණයේ වසර දෙකක්. (…)

Google Maps එක්ක පොඩි පොඩි වැඩ.

මාස දෙකකට පස්සෙ විතර තමයි ආයෙ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුනේ. :D  සති දෙකතුනක්ම ගෙදරට වෙලා හිටියත් බ්ලොග් එකට නං අත තියන්නවත් හිතුනෙ නෑ. අවුරුදු දෙකකට  ආසන්න කාලයක් ආසාවෙන් කරගෙන ආපු බ්ලොග් ලිවිල්ල දැන් ටිකක් එපා වේගෙන එන්නෙ. මොනව උනත් බ්ලොග් කියවිල්ල නම් තාම එපා වෙලා නැහැ. විශේෂයෙන් මේ දවස්වල නැගලා යන One | Zero | Zero සහ තෙලාස්ට්‍රෝ ගොඩක් වෙලාවට කියවනවා.

හරි මාතෘකාවට බහිමු , google maps එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලා. අපේ බ්ලොග් පෝස්ට් එකකට / වෙබ් අඩවියක ස්තානයක් ගැන එහෙම විස්තර කරගන්න ඕන උනොත් google maps පාවිච්චි කරන්න පුළුවන්. මේකට google maps API කිහිපයක්ම තිබෙනවා අපේ අවශ්‍යතාවය අනුව එකක් තෝරාගන්න පුළුවනි. මේක image එකක් විදියට විතරක් දානවා නම් Google Static Maps API එකෙන් මේ විදියට ලේසියෙන්ම කරන්න පුළුවන්.

ඉතිරියත් කියවන්න Google Maps එක්ක පොඩි පොඩි වැඩ. (…)

OLPC ගැන වචනයක්.

OLPC දැනට ලෝක බැංකු ආධාර ඇතිව නියාමක ව්‍යාපෘතියක් ලෙස අපේ රටේ ක්‍රියාත්මක වන බව ඔබ සමහරවිට දන්නවා ඇති. මටත් මේ ව්‍යාපෘතියට දායක වෙන්න අවස්තාවක් ලැබුනා අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් වල මෘදුකාංග යාවත්කාලීනයන් ලබාදීම සඳහා ඒවාගේ සර්වර් පරිගනක තුල ස්තාපනයට මෘදුකාංගයක් නිර්මාණය කිරීමෙන්. (මම මගේ internship සඳහා සම්බන්ද වෙලාඉන්න UCSC Network Operating Center එක මෙම ව්‍යාපෘතියට තාක්ෂණික අංශයෙන් මඟපෙන්වනවා.)

OLPC යේ අරමුණු එහි නිල වෙබ් අඩවියේ ආකාරයට

” To create educational opportunities for the world’s poorest children by providing each child with a rugged, low-cost, low-power, connected laptop with content and software designed for collaborative, joyful, self-empowered learning. When children have access to this type of tool they get engaged in their own education. They learn, share, create, and collaborate. They become connected to each other, to the world and to a brighter future.”

“ලෝකයේ දුප්පත්ම ලමයින් වෙනුවෙන් අධ්‍යාපනික අවස්ථා ඇතිකිරීමට රළු, අඩුමිල, අඩු බලයකින් භාවිතා කලහැකි, සහයෝගීතාවය, සතුට, ස්ව-බලගැන්වුම් ඉගනුමක් සඳහා මෘදුකාංග අඩංගු, සම්බන්ධිත පරිගනකයක් හැම ලමයෙක් වෙනුවෙන්ම ලබාදීම. ලමයින්ට මේ වාගේ මෙවලමකට පිවිසුමක් තියෙනවානම් ඔවුන් තමන්ගේම අධ්‍යාපනයක නිරත වේවි. ඔවුන් ‍ඉගෙනගනීවි,බෙදාගනීවි, නිර්මාණය කරාවි, සහයෝගයෙන් කටයුතු කරාවි. එකිනෙකා සමග, ලෝකයා සමග වගේම පැහැබර අනාගතයකට ඔවුන් සම්බන්ද වේවි.”

නමුත් OLPC  ශ්‍රීලංකා වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙවැන්නක්.

ඉතිරියත් කියවන්න OLPC ගැන වචනයක්. (…)

google chrome extension එකක් සෑදීම. 02

අන්තිම පොස්ට් එකෙන් කිව්වේ chrome extension UI එක ගොඩදාගන්න හැටි. මේපාර සරලම මට්ටමේ extension එකක් හදලා පෙන්නන්න හිතුවා. ඇත්තටම පළවෙනි ලිපියට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය වැඩ පටන් අරගෙන තිබුනා.

අපි කැමතිම ලින්ක් කිහිපයක් ‍එකතු කරගෙන ඒවාට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න chrome extension

chrome extension එකක ප්‍රධානම හා අනිවාර්යම ‍කොටසක් තමයි manifest.json file එක. (JSON කියලා තියෙන්නේ අපි file එක ලියන්නේ JSON format එකට වීම නිසා. )

manifest.json file එකේ තමයි අපි අපේ extension එකේ නම, හදපු කෙනාගෙ නම, වෙබ් සයිට්, option pages තියෙන්නෙ කොහෙද, content scripts වල නම් මොනවද, extension එකට chrome browser එකේ ඇතුලෙ permissions ආදිය ගැන විස්තර ලබාදෙන්නේ.මෙන්න අපේ වැඩේට මම ලියපු manifest.json එක.

ඉතිරියත් කියවන්න google chrome extension එකක් සෑදීම. 02 (...)

නමක් නෑ

එදා මම වැඩට එනකොට උදේ 10ට විතර ඇති.  අම්බානෙක පරක්කුයි. 138 බස්‍ එකෙන් බැස්සා නෙවෙයි පැන්නා. ‍බස්හෝල්ට් එක ගාව පොඩි කලබලයක් වගේ, මිනිස්සු වටවෙලා.  හිටපු දහපහලොස් දෙනාගෙන් එක්කෙනෙක් මගේ ගාවට ඇවිත්.ත්‍රීවිල් එකකටත් කවුදෝ අත දැම්මා පෙනුනා.

“මල්ලි ආර්ට් ෆැකල්ටිය තියෙන්නෙ කොහෙද?” කියලා ඇහුවා. පේන දුර නිසා අන්න අතන කියලා පෙන්නුවා. එතකොටයි මම දැක්කෙ එතැන අන්ධ ජෝඩුවක් ඉන්නවා අත්අල්ලගෙන.

මාත් එක්ක කතා කරපු කෙනා ත්‍රීවිල්කාරයට කතාකලා.

“රුපියල් ‍දෙසීයක් දෙන්න මහත්තයා.”

ඉතිරියත් කියවන්න නමක් නෑ (…)

google chrome extension එකක් සෑදීම. 01

සෑහෙන්න කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ. chrome extension හදන එකත් හුඟකාලෙකින් කලේ නැති නිසා අමතක වේගෙනයි එන්නේ. මටම බලාගන්නයි අලුතින් වැඩ පටන්ගන්න කෙනෙකුට උදව්වක් විදියට google chrome extension එකක් හදන හැටි බ්ලොග් එකේ ලියල තියන්න හිතුවා. හැබැයි ඉතිං මේවා ලියල තිබ්බාම වෙන්නෙ කොලොම්බස්ට වෙච්ච සීන් එක වෙයිද දන්නෑ.(අත්දැකීමෙන් කියන්නේ.).  හ්ම් ඒකත් කමක් නෑ කියමු.

අවශ්‍ය මූලික දැනුම

HTML , javascript ගැන ටිකක් දැනගෙන ඉන්න ඕන. HTML5 දන්නවා නම් ලේසියි.( ඒත් දන්නෙ නැතිනං  HTML5 වලින් වැඩ දාන්න ඉගෙන ගන්න හොඳම තැනක් මේක. මොකද browser compatibility ගැන වද වෙන්න ඕන නැති නිසා.)

තව මොනවද ඉගෙනගන්න  ඕන?

ඉතිරියත් කියවන්න google chrome extension එකක් සෑදීම. 01 (…)