ඊයේ මගේ බ්ලොග් සටහනින් මං ප්‍රශ්නයක් ඇහුවා හැමෝටම මතක ඇති. ඒ ප්‍රශ්නෙට උත්තරේ දැන් ලැබෙන්න ඇති කියල හිතනවා. මොකද ලංකාවේ හැමෝම වගේ අඩු තරමින් එක් වතාවක් හරි සූදු ක්‍රීඩා කරලා ඇති. සුදුව කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ගොඩේ විදියට කරන බූරුවා ගැහිල්ලයි(මේවා ගහන අය තමයි බූරුවෝ)හරි රේස් ඔට්ටු දැමිල්ල එහෙමත් නැත්නම් ටිකක් පොෂ් විදියට කරන කැසිනෝ ක්‍රීඩාවයි විතරයි.
ඒත් හැමෝටම අමතකයි සල්ලි වලට කැට ගැහිල්ලයි(අවුරුදු කාලෙට විතරයිනේ, ඒත් ඒ නිසා පොඩි අයත් සූදුවට පුරුදු වෙනවා) ලොතරැයි ඇදීමයි කියලා කරන්නෙත් සූදුවක් බව. අනිත් ඒවා වගේම මේවාදිත් සල්ලි දාලා අන්තිමට ෂං අපරාදේ රු 20 කියලා පස්සේ දුක් වෙනවා. ඒත් ආයෙමත් ඒක අමතක කරලා ඊලඟ දවසෙ ගන්නවා අදවත් ඇදෙයි කියලා. සමහරු ටිකට් 10, 15 දවසට ගන්නවා. ඒත් ඉතිං දිනුමක් ලැබුනට පස්සේ ගනන් හදලා බලනකොට සමහර වෙලාවට දිනුව ගානටත් වැඩිය වියදම් කරලා. සූදුවකින් කවදාවත් ක්‍රීඩා කරන අය දිනන්නෙ නෑ දිනන්නෙ ඒක මෙහෙයවන අය (කැසිනෝ එකක නං කැසිනෝ හිමිකරු, බූරු පොලක නම් තෝම්බු එකතු කරන අය ) මොකද කව්රු දිනුවත් තමංගෙ ගාන අනිවාර්යයෙන්ම හම්බ වෙනවා නේ.
තව මෑත කාලේ එකතු වුන සූදුවක් තියෙනවා. අර කෙටි පණිවිඩ යවලා කරන සෙල්ලම. දෙරණෙ යනවා දැකලා තියෙනවා(මම රූපවාහිනිය බලන්නේ ඉතාම කලාතුරකින් නිසා දැනට විකාශනයවෙන ඒ වගේ වැඩසටහන් ගැන නම් මං දන්නෙ නෑ). කොහෙවත් යන කොම්පැනිකාරයෝ අපේ අය ගොනාට අන්දලා කෝටි ගනන් හම්බ කරනවා ඇති තෑගි දෙන්න නම් ඒකෙන් 1/10 ක් වත් යන්නෙ නැතුව ඇති.
සූදුවට ගියාම සමහරු මෙලෝ සිහියක් නෑ ඇඳී වත පවා උගස් කරන්න ලෑස්තියි. දහ අතේ ණය වෙනවා ගෑනිගේ කණකර පවා ඔට්ටුවට තියනවා(දිනුවම ගෙවලා දානවා කියලා හිතලා). අනේ ඉතිං ණය ගෙවන්න වෙන්නේ ලබන ආත්මේ තමයි.
මං හිතන විදියට මිනිස්සු සූදුවට මෙච්චර ඇබ්බැහිවෙලා තියෙන්නේ මහන්සිවෙලා දියුනු වෙන්න තියෙන කම්මැලි කම නිසා(අපේ මිනිස්සු ඉතිං කොහොමටත් කම්මැලියිනෙ) එහෙම නැත්නම් ඉක්මනින් පෝසත් වෙන්න(ඒත් ඉතිං ඉක්මන් කොටයි කියලා කියනවනේ) එහෙමත් නැතිනම් අසරණකම නිසා.(තමංගෙ විඳින දුක උඩ ඉන්න දෙයියොවත් බලයි කියලා හිතලා.)
කොහොම උනත් ලොතරැයි ටිකට් විකුනලා යැපෙන අහිංසක අසරණයෝ ඉන්න බව නම් අමතක කරන්න බෑ. මං කලාතුරකින් හරි ලොතරැයි ටිකට් එකක් ගන්නේ ඒවගේ අසරණ කෙනෙක්ට කරන උදව්වක් වශයෙන් විතරයි.
——–සංවාදයට විවෘතයි.——–


